Tuesday, August 25, 2009

යුගයෙන් යුගයේ ඔබ දුටුවා

යුගයෙන් යුගයේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ
වෙරළින් වෙරළේ ඔබ දුටුවා
සසරේ තීර්ථ යාත්‍රාවේ

සීතල කඩු තුඩු ඇනෙන රැයේ
උණුසුම සලසන ග්‍රීෂ්මයක් විය
පවසින් වැලපෙත කරදියරේ
පිපුරුනු දෙතොලට වර්ෂාවක් විය

සුන්බුන් වූ විට සැඩ සුළඟේ
දියපිට ඉන්නට දැව යහනක් විය
වල්මත් වූ විට දිවි දියඹේ
ගොඩබිම පෙන්වන තරු ලකුණක් විය

අසන්න

පද: සුනිල් ආරියරත්න
නාද සිත්තම්: ස්ටැන්ලි පීරිස්
ගැයුම: නන්දා මාලිනී

Wednesday, August 19, 2009

කඳු පාර ඈත අයිනේ

කඳු පාර ඈත අයිනේ
සඳ රෑ ක ඈ සිනා සේ
වේදනා සිතාරයේ
ඒ ගීත රාවේ ඇසේවා
ජීවිතේ පුරා

යාළු වී දෙවටේ එදා
කී කතා අසා
පාලු වී හැඬුවා සදා
මාරුතේ පවා

ගං ඉමේ මාදං කැලේ
පාසැලේ පුරා
මා සොයා ආවා වගේ
වෙන් වෙලා ගියා


අසන්න

ගැයුම: මිල්ටන් මල්ලවාරච්චි

Friday, August 14, 2009

ලඳු ඕවිටි කළල් මතින්

ලඳු ඕවිටි කළල් මතින් සුසුම් ගඟක් ගලනවා
බාධක ගිරි ශිකර මැදින් කුස ගින්දර දිවෙනවා
අළුත් පාර හැදෙනවා

හිරු පායා අපේ හිසට සෙවන ගෙනෙනවා
පොළොව දැවී අපේ පයට සිහිල සදනවා
දූවිලි මඳ පවන් හමා ගිමන් නිවනවා
දෑතේ කරගැට දෙතොලට පවන් සලනවා

අපේ ශ්‍රමය කළුගල් වී බිම වැතිරෙනවා
රන් දහඩිය තාර වෙලා උඩින් ගලනා
මැති උතුමන් නමින් පාරෙ කඩුලු ඇරෙනවා
පාර අයිනෙ අපි හැම දා බලා ඉන්නවා

අසන්න
පද:කුමාරදාස සපුතන්ත්‍රී
නාද සිත්තම්: රෝහණ වීරසිංහ
ගැයුම: එඩ්වඩ් ජයකොඩි

Tuesday, August 4, 2009

මංකඩ ලඟ හැන්දෑවේ


මංකඩ ලඟ හැන්දෑවේ දියබුං හඬ නඟනා
දංගොල්ලේ පන්කොටුවට යාන්තමින් පෙනෙනා
බිම්කළුවේ හෙවනැල්ලට හීන්සැරේ මැකෙනා
මං දන්නා කුමාරයෙක් මංකඩ ලඟ උන්නා

තුංතුඹ මල් පෙති පොරවා නින්දට සැරසෙන්නා
රන්ඩුවෙවී මලිති බටිති ලන්දේ සැඟවෙන්නා
හීං හුළඟ මා තනිකර කන්දට දිවයන්නා
ගංඉවුරෙන් සීපදයක් මගෙ තනියට එන්නා

රන්පාටින් ආකාසේ මගෙ සිතිවිලි අඳිනා
හීං හිනා පොදවැස්සේ මගේ ලොවම තෙමනා
යාන් ඇලේ ඒදණ්ඩෙන් මා එගොඩට කරනා
මං දන්නා කුමාරයෙක් මංකඩ ලඟ උන්නා


ඔබ සවනට

පද:කරුණාදාස සූරිආරච්චි
නාද සිත්තම්:කලණි පෙරේරා
ගැයුම:ඉන්ද්‍රාණි බෝගොඩ

යොවුන් ප්‍රේමය රාගයේ ගිණිදැල් වලින් හළු වී යන අබුද්දස්ස කාලයේ, මිහිරි චිත්ත රූප මවන අතීතයේ ගැමි යොවුන් ප්‍රේමයක්..හිරු අවරට යන යාමයේ කෙත් යාය කෙළවර නිසල බව බිඳිමින් ගලන දිය මංකඩ අද්දරින් හේනේ පැළට පියමං වන තම සිහින කුමරා ගැන නැඟෙන විසිතුරු සිතුවිලි සිතුවමක්..

Wednesday, July 29, 2009

තනි තරුවේ

තනි තරුවේ තනි තරුවේ
ඔබත් ඔහොම ඔතැන ඉන්න
මමත් මෙහෙම මෙතැන ඉන්නවා

නෙතඟ නෙතඟ පැටලි පැටලි
මුවග මුවග ඇලළි ඇලළි
මෙතෙක් දුරක් එක් වී පැමිනී

ම හද අරණෙ ලතැවි ලතැවි
රැඳෙනු බැරිව ඉගිළි ඉගිළි
මගෙන් ඉවත ඇදිලා සැනසේ

පද:ප්‍රේමකීර්ති ද අල්විස්
නාද සිත්තම් හා ගැයුම :වික්ටර් රත්නායක

ඔබ සවනට

විසි වසකට පෙර එක කලුවර ඇසල මසක..නිහඬ කල පන්හිඳෙන් ගෙත්තම් වූ අපමන ගී රටා අප හදවත් මිහිරෙන්, ශෝකයෙන්, භක්තියෙන් පුරවන මොහොතක වත් සිහිවේ ද ඒ සොඳුරු මිනිසා..කාලයේ රුදු වැලිතලාවට වැසී යයි ද ඒ මතකය..කල වරදක් නොමැතිවම මිහිකත සිපගත් තනි වී ඒ රැයේ.කුමක් සිතෙන්නට ඇතිද ඒ කලාකාමී හදවතට.. හඬන්නට ඇති ඒ ගිණි අවිය පවා, රැඳුන පවට අමන මුග්ධයන් අත.
කවුරුන් ඔබ අමතක කලත්, කාට අමතක වුවත් ..ඔබ අප තනි නොකර රැඳෙන බව පසක් වේ ඒ ගී රාව ප්‍රතිරාව නංවන තුරා....
සදාදර ප්‍රේම් ..ඔබ අමරණීයයි

Thursday, July 9, 2009

හිමකඳු අතරින් පාවී එන්නේ


හිමකඳු අතරින් පාවී එන්නේ
නීල වළාවේ පැහැය දරා
දඟකාර ඔබේ ඔය නෙත්මිණි දල්වා
බලන්න මා දෙස මඳහස පාලා

මිහිබට සුරකුමරියක් ලෙසින්නේ
ලැසි ගමනින් පා සළඹ සලන්නේ
මුව සඟවා ලූ සළුව මුදා හැර
බලන්න මා දෙස මඳහස පාලා

එරන්දතී සුකුමාල ලඳුන්නේ
දිගු වරලස සුදු මල් ගවසන්නේ
දෑත නඟා නිල් වරල උනා යලි
බලන්න මා දෙස මඳහස පාලා


පද: සරත් අමුණුගම
නාද සිත්තම්: පණ්ඩිත් අමරදේව
ගැයුම: පණ්ඩිත් අමරදේව

ඔබ සවනට

Sunday, July 5, 2009

ඔබ මා හමුවුන මේ ඉර හඳ යට


ඔබ මා හමුවුන මේ ඉර හඳ යට
කොතැනක සිටියත් මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි

ඔබ සිත මා සිත හමුවූ දා සිට
මා ළය පීදී පරවූ පෙම් මල
සිතින් තුරුලුකර මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි

කඳුල සුසුම නොහෙලා නොදොඩා අපි
මිරිඟු සයුර වෙත පියමන් කල සැටි
සිතින් දරාගෙන මා මළ දවසට
මගෙ ලඟ තනියට ඉනු මැනවි


පද: සුනිල් ආර්. ගමගේ
නාද සිත්තම්: ගුණදාස කපුගේ
ගැයුම: කරුණාරත්න දිවුල්ගනේ

ඔබ සවනට

ලංවෙන හැමදෙයම එක් නොවෙන ලොවක වෙන්වුන අප අපෙන්..
බිඳුවක් හෝ ඉතිරිව තිබුනොත් මා ගැන මතකයක්..නෑවිත් ඉන්න එපා මගෙ තනියට ..සොහොන් බිමේ තනිකරන තුරා..

Friday, July 3, 2009

විදුලිය එළිය දැක

විදුලිය එළිය දැක ගිණිහුල දියේ හෙලා
මඟ වැරදිලා දිවුවේ මං මුලා වෙලා
පැන ගිය මුවන් ලඟ හැලුනයි නෙලූ පලා
දොර ඇරපන් අම්මේ මට සමාවෙලා

කස්තුරි කපුරු කෑ තරමට එපාවුනි
තිත්තයි අනේ තිත්තයි මීවදේ පැණී
ඇස් රතුකල කොලොප්පමකට හිනාවුනී
මහමෙර වගේ නුඹ නොදොඩා බලා වුනි

මෝල්ගහත් ඇවිලුණි කරුම ගින්නට
උණුසුම මදිවුනා ඔය පැලෙ ඉන්නට
ආ ගිය මාවතක් හිම නෑ පෙනෙන්නට
අම්මේ දොර අරින් නුඹෙ පොඩි හිඟන්නිට

පද: ස්වර්ණ ගුණවර්ධන
නාද සිත්තම්: ෂෙල්ටන් විජේසේකර
ගැයුම: ඉන්ද්‍රාණි බෝගොඩ

සියල්ල ඔබට වඩා දැන සිටියෙමි පෙර දා..හිරිහැරයක්ම විය දුන් ඔවදන්..ලෝකයම විය සුන්දර ඔබේ සෙවණට වඩා..නොදැනීම මා මංමුලා වන තුරා...සැවොම ඉවත බැලූ දා ..අම්මේ මට ඔබේ පිළිසරණ පමනයි යලිත්... මට අමතක වූ බිළිඳුවියේදී මෙන්

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ

මුතුකුඩ ඉහලන මල් වරුසාවේ
උඩ ඉගිලෙන විට වැහිලේණී
එබී බලා රිය කවුළු දොරින්
යටගිය දවසේ ...දෑස ගියා ඉගිලී

අඳුරු ලලා සෙංකඩගල වැස්සේ
දියදහරා පාටයි දේදුන්නේ
තෙමී තෙමී ආදර මධු වැස්සේ
ගිය දෙදෙනා අද යනවා දෙමංතලේ

රිය ඇතුලේඋණුසුම ඔබට දිදී
නහවයි මා රියසක මඩවතුරේ
නෑ හිත රිදුනේ අදත් එදා සිහිවී
අපේ සබඳකම් නෑ රියසක දන්නේ


පද: ලූෂන් බුලත්සිංහල
නාද සිත්තම්: රෝහණ වීරසිංහ
ගැයුම: රෝහණ වීරසිංහ

ඔබ සවනට

සෙංකඩගල නුවර හතරවට කළුව වපුරා වහින මහ වැස්සේ පියමැන යද්දී ..මා ගත මඩවතුරින් නහවා ඇදී ගිය ඒ රිය කවුළුවෙන් නෙත ගැටුනේ..සදාකාලික කලුවරක මා හදවත තනිකර ගිය ඒ මියුලැසියයි...
එදා ඔබ අතගෙන තෙමි තෙමී ගියදා නම් ..මේ වැස්ස කොතරම් ලස්සනද..ප්‍රේමනීයද...උණුසුම්ද...
අද ඒ උණුසුම ඔබ පමනක් විඳිද්දී ඔය රිය ඇතුලේ.. මඩවතුරින් මා නැහැවුනත් ඔබ ගැන නොවෙමි අමනාප ..ඒ අප පෙර ඇසුර නොදන්නා රියසක හන්දාම නොවේ ප්‍රියාවිය ..මිය නොගිය මා සෙනෙහස නිසාමය..

පායා සීත රැයේ

පායා සීත රැයේ …පාවී නිල් අඹරේ
දිලෙනා තරුවේ ..තනිවූ තරුවේ
ඈ නෑ මා සෙවණේ

තනි තරුවේ ඔබ විලසින්
තනිවී ඇත මා සසරේ
යළි මේ භවයේ නෑ හමුවන්නේ
ඈ යළි නො එනා ඔබේ ලොවේ

මඳ පවනේ රැඳි විලසින්
හඬ තාම ඇසේ ඇයගේ
රෑ තනි යහනේ මේ දුක් සිහිනේ
පමණද උරුමය ජීවිතයේ

පද: කුලරත්න ආරියවංශ
නාද සිත්තම් : සනත් නන්දසිරි
ගැයුම: විජය කුමාරතුංග

මලක් වුනේ ඇයි නුඹ මට

මලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සුවඳ සලන
එ නමුදු සිපගන්නට තහනම්
විලක් වුනේ ඇයි නුඹ මට ජීවිතයට සිසිල ඉසින
දිය දෝතක් බොන්නට තහනම්

පහන් තාරකාවක් සේ ජීවිතයට මඟ කීවද
ඒ එළියෙන් ම හද පහන් දල්වනු කෙලෙසින්
කියන්න...

සහන් ගීතිකාවක් සේ ජීවිතයේ ගිම් නිවුවද
ඒ ගීයේ සොඳුරු වදන් මුමුනනු කෙලෙසින්
කියන්න.

පද: සමන් ආතාවුදහෙට්ටි

ගැයුම:අමරසිරි පීරිස්

Monday, June 29, 2009

මගේ දේශය

මගේ දේශය මගේ ජාතිය මගේ ආගම මට ලබාදුන් ත්‍යගයයි
චණ්ඩ මාරුතයේ නොසෙල්වෙන චින්තනය නිවහල්

නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්
එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස

මිලමුදල් ලැබ කුවේරයින්ගේ සිතට එරෙහිව ගයන්නට නම්
ඒ මධුර හඬ කුමකටද මට ගොළුව බිහිරිව සතුටුවනු මිස


පද - සුනිල් ආරියරත්න
නාද සිත්තම් - රෝහණ වීරසිංහ
ගැයුම - නන්දා මාලිනී

අනවරත බටහිර යටත්විජිතවාදී දැනුම් ප්‍රවාහයක් මුළු ලොවත් අපත් වසාගෙන පැතිර ඇති මෙවන් යුගයකත් අධ්‍යාත්මය පතුලේ නොනිවී දැල්වෙන පහන්සිලක් වන්, මගේ දේශයත් මගේ ජාතියත් මගේ ආගමත් මට උරුම කරදුන් විසල් සිංහල බොදු චින්තනය කෙරෙහි අප්‍රමාණ භක්තියකින් සිත පිරී යයි.
බොහෝ දෙනෙකුට නොවැටහුනත් තවමත් මේ රට බහුතරයකගේ අවිඤාණික මඟ පෙන්වන්නා මේ චින්තනයම මිස අන් කවරක් හෝ නොවේ. ඒ නිසාම නොවේ නම් මේ කුඩා කොදෙව්වේ මෙතරම් දැනුම් ආධිපත්‍යයකට යටවී සිටියදීත් ථෙරවාදී සිංහල බුදුදහමත් සිංහල ජාතියත් කෙසේ නම් රැකී තිබේවිද...
හෙට දවසට ඇවැසි වන්නේ ඒ නිවහල් චින්තනය මත පදනම්වූ අපේම දැනුම් පද්ධතිය තව තවත් වර්ධනය කර බටහිර දැනුම ලඟ නිවට නොවී නැගී සිටීමයි.

හඬන පණ නළ

හඬන පණ නළ යදින සැනසුම දැවීයයි හද චිතකයේ
කඳුළු බිඳුවක සිසිල පමනකි වියළි කතරට හිමිවුනේ

යොවුන් සිතිවිලි විපිලිසර වී මහළු ලොව තුල මිය ඇදේ
සයින් පීඩිත හඬන සුරගුරු යදී සිඟමන් මාවතේ

රකුසු පියසක පිපුනු කුසුමට මලවි හමුවන පින නැතේ
දෑස නැතිවිට නුහුරු මංපෙත සරන පා යුග පටලැවේ

පද - කේ.ඩී.කේ. ධර්මවර්ධන
නාද සිත්තම් - ලක්ෂ්මන් විජේසේකර
ගැයුම - සුනිල් එදිරිසිංහ

කලකට පෙර රූපවාහිනී මාලා නාටකයක තේමා ගීතය ලෙස රසික සවන් වෙත ආ මේ ගී සිත්තම යොවුන් ප්‍රේමයේ විප්‍රයෝගී රසයෙන් හදවත පුරවාලයි. දෙහදක නැඟුන මිහිරි පෙම් සිතුවිලි නොයෙකුත් සමාජ සීමා මායිම් නිසා බොඳවී යන අයුරු ශෝකී රස පිරුනු වදන් වැලකින් රචකයා ගෙන එයි.
හඬන සිත යදින ඒ සැනසුම හද චිතකයෙහි දැවීයන කල වියලී ගිය කතරට කඳුළු බිංඳුවකින් කවරනම් සැනසුමක්ද...
යුග යුග කියවෙන පරම්පරා ගැටුම නොනැවතී ඉදිරියට යද්දී යොවුන් හදවත් යලි යලිත් දුකටම පැමිනේ...එවන් ලොවක මේ බැමි නොහඳුනන ආදරය අඳුරේ වල්මත්වීමත් අරුමයක්ද....

Sunday, June 28, 2009

රත්නදීප ජන්මභූමි


රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි

මානික්‍ය සේ පොලෝගැබේ නිධානවී
ඇත්තෙ ඒ අභීත දූපුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙලූ ලේ කඳයි

සින්දූපමාන වැව්තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධවී
රන්කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන්හෙලූ ප්‍රාණවායුවයි


ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි

පද - මහගම සේකර
නාද සිත්තම් - අමරදේව
ගැයුම - අමරදේව

මාතෘභූමිය වෙනුවෙන් මේ පින්බිමේ ලේ කඳුළු හෙලූ අප්‍රමාණ විරුවන් නමින් ලියැවුනු විශිෂ්ඨතම ගේය කාව්‍යක් ලෙස මෙය හැඳින්විය හැක. මහගම සේකරයන්ගේ නිසඟ කාව්‍ය හැකියාවෙන් ඔපවත්වූ මේ ගීතය අමරදේවයන්ගේ අභිමානවත් ස්වරයෙන් අසන රසික හදවත් දේශානුරාගයෙනුත්, පිළිම නෙළා නැති ඒ විරුවන් කෙරෙහි අපමණ භක්තියකිනුත් කුළු ගැන්වේ.
ඉතිහාසයේ අප අසා ඇති වීරයින්ගේ කැපකිරීම් වලට නොදෙවෙනි පරිත්‍යාගයන් කරමින් අප දේශයේත් ජාතියේත් නිදහස උදෙසා අපේ කාලයේ විරුවන් කල මෙහෙවර දෑස් අභියස ඵලදරා ඇති අද දවසේ,මේ ගීතය අන් කවරදාටත් වඩා අප හදවත් තුල රාව නංවයි.
අතීත විරුවන්ගේ ලේ බිඳු අගනා රුවන් වී මේ පොලෝ තලයේ නිදන්වී ඇත්තේ යම් සේද අද හෙලූ රුහිර ගංගාවන් මතු මතුත් මේ දෙරණේ මිණිකැට ජනිත කරනු නිසැකය.
සහසක් රටවැසියන්ගේ හිතසුව පතා මවුබිමට උවදුරු පැමිනි හැමවිට තම දිවි පුදකල දරුවන් රණබිම හෙළු අවසන් හුස්ම පොද සැමදා පවනැල්ලක් වී දෙරණ සිසාරා හමා යනු ඇත.
එවන් විරුවන්ගේ යශෝ කීර්ති ගීතය මේ බිමේ වැලිකැටයක් ගානේ, පිපෙන මල් කැකුළක් ගානේ සදා රැව් පිළිරැව් නඟනු ඇත.

ඔබේ අදහස් සිංග්ලිෂ් වලින් ලියන්න කැමතිනම්